Tuesday, December 10, 2013

මරණය පොදු ධර්මතාවකි

මරණය පොදු ධර්මතාවකි බෞද්ධ දර්ශනයට අනුව සජීවී සියලූ සත්වයා මැරෙමින් ඉපදෙමින් කෙළවරක් නොමැති සංසාරයේ ගමන් කරයි. සත්වයා ඉපදීම ස්වභාවය කොට ඇත්තා සේම මරණයද ස්වභාවය කොට ඇත්තාහ. නොමැරී ජීවත් වන සදාකාලික සත්වයකු සොයා ගැනීමට නොහැකි තරම්ය. මිනිසෙකු දෙවියෙකු බ‍්‍රහ්මයකු තිරිසනෙකු පේ‍්‍රතයෙකු හෝ කිසියම්ම හෝ සත්වයකු වේද මේ සියලූ ජීවී කොට්ඨාසයන් මරණය හෙවත් පවත්නා තත්වයෙන් වියෝ වීම ස්වභාවය කොට ඇත්තාහ. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මූලික හරය තුළ ලෝකයේ වෙනස් නොවන ලක්ෂණ තුනක් වෙයි. ඒ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන පොදු ලක්ෂණ තුනයි. අනිත්‍යතාව මේ ලෝකයෙහි සෑම සත්වයෙකුටම, වස්තුවකටම පොදුය. නිත්‍ය, ස්ථිර, සදාතනික, අචල ජීවී හෝ අජීවී වස්තුවක් නොමැතිය. සංඛත ධර්මයෝ සියල්ලම විනාශයට පත් වෙති. සජීවී සත්වයාගේ මරණයද මෙම අනිත්‍යතාව පදනම් කොට ගෙන ඇත. නිත්‍ය වූ සදාතනික ජීවයක් නැත. මොහොතක් පාසාම ජීවිතය තුළම විනාශවෙමින් ගොස් මරණයේදී සපුරාම එම භවයෙන් මිදී යයි. නැවතත් වෙනත් භවයක උපදියි. නැවත නැවත මැරෙමින් ඉපදෙමින් යන මේ චක‍්‍රය ලෝක සත්වයාමට පොදු පටිච්ච සමුප්පාද ධර්මයයි. ‘‘ජාති පච්චයා ජරා මරණං’’ යනාදි වශයෙන් පටිච්ච සමුප්පාදයේදී දේශනා කොට ඇති පරිදි යමෙකු මරණයට පත් වන්නේ ඉපදීම නිසාය. නැවත නැවත ඉපදීම නැති කළ පුද්ගලයා නැවත නැවත මරණයට පත් නොවෙයි. එනම් අර්හත් භාවයට පත් වීමෙනි. නූතන ලෝකය විද්‍යාවෙන් හා තාක්ෂණයෙන් ඉහළම තලයක වැජඹෙන යුගයකි. පෘථිවිය තරණය කොට වෙනත් ග‍්‍රහලෝකවලට ගමන් කිරීමට, ඒවා ගවේෂණය කිරීමට තරම් දියුණු තාක්ෂණයකට හිමිකම් කීවද මරණයෙන් ගැලවීමට, මරණයට පත් නොවී සිටීමට මිනිසාට තාක්ෂණයක් නොමැත. විද්‍යාවක් නැත. සොබා දහමෙහි සියලූ සංකල්ප ආක‍්‍රමණය කළ මිනසාට මරණය ඉක්මවා යා නොහැකි විය. බොහෝ මිනිසුන් වෛද්‍ය විදයාවේ දියුණුව තුළ මරණය තවතවත් දුරස් කර ගැනීමට උත්සාහ දරයි. රෝගවලට පිළියම් කරයි. මරණාසන්න පුද්ගලයාට ඔක්සිජන් දීමෙන් හෝ තවත් ජීවත් කරවීමට උත්සාහ කරයි. නමුත් සියල්ල අවසන් වී මරණයට පත් වෙයි. එය සියලූ දෙනාටම පොදුය. එසේ නම් මරණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද? නූතන වෛද්‍ය විද්‍යාවට අනුව මොළයේ විද්‍යුත් ක‍්‍රියාකාරිත්වය නතර වීම, හෘදය වස්තුවේ ක‍්‍රියාකාරිත්වය නතර වීම, ස්වසනය නතර වීම, රුධිර පීඩනය නතර වීම, ශරීරයේ උෂ්ණත්වය පහළ වැටීම ආදි ශාරීරික ක‍්‍රියාකාරකම් ඇනහිටීම මරණය ලෙස දැක්විය හැකිය. මරණය යනු ප‍්‍රාණය වියැකී යාම බව මින් පෙනේ. මරණය යනු ජීවයයි. මරණය පොදු ධර්මතාවයක් වුවද මිනිසා මරණයට පත් වීමේ ක‍්‍රමයට පොදු බවක් නොමැතිය. එක් එක් මිනිසා එක් එක් ක‍්‍රමයට මරණයට පත් විය හැකිය. ඇතමෙක් සියදිවි නසාගෙන මරණයට පත් වෙයි. ඇතමෙක් රෝගාබාධ නිසාත් ඇතමෙක් වයසට යාම නිසාත් ඇතමෙක් හදිසි අනතුරු නිසාත් අනපේක්ෂිත ආපදා නිසාත් සොබා දහමේ යම් යම් සිදුවීම්වලට මුහුණ දීමට සිදුවීම නිසාත් කායික ක‍්‍රියාකාරිත්වයෙහි යම් යම් ඇනහිටීම් නිසාත් ආදී විවිධ ක‍්‍රමවලින් මරණයට පත් වනු දැකිය හැකිය. මේ කෙබඳු ආකාරයෙන් මරණයට පත් වුවද සිදු වන්නේ තිබෙන තත්වයේ වෙනස් වීමකි. වෙන් වීමකි. සජීවී සතුන් සේම අජීවී ගස් වැල් ද මරණයට පත් වෙයි. මිනිසුන් සේම දෙවියන්ද මරණයට පත් වෙයි. බුදුදහම අනුව එය නොවැළැක්විය හැකි සමස්ත ලෝක ධාතුවටම පොදු ධර්මතාවයකි. බෞද්ධ අර්ථකතනය බෞද්ධ දර්ශනයේ බොහෝ ස්ථානවල ‘මරණං’ යන වචනය සඳහන් වෙයි. මාර නමින් දිව්‍ය පුත‍්‍රයකු පිළිබඳවත් ක්ලේශ මාර, ස්ඛන්ධ මාර, මච්චු මාර, අභිසංකාර මාර යනාදී වශයෙන් මාරයන් රාශියක් පිළිබඳවත් සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ බොහෝ සූත‍්‍ර දේශනාවල මරණය යන්න විවිධාකාරයෙන් අර්ථ දක්වා ඇත. මජ්ජිම නිකායේ මෙසේ සඳහන් වෙයි. ‘‘කතමඤ්චාවුසෝ මරණං. යං තෙසං තෙසං සත්ත්තානං තම්හා තම්හා සන්තති කායෝ චුති වචනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදෝ ඛලේබරස්ස නික්ඛපො, ජීවිතින්ද්‍රියස්ස උපච්ෙඡ්දෝ, ඉදං වුච්චතාවුසෝ මරණං’’ ‘‘ඇවැත්නි මරණය කවරේද යත්, ඒ ඒ සත්වයන්ගේ සත්ත්ව නිකායයෙන් යම් චුතියක්, වචනාකාරයෙක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මෘත්‍යු සංඛ්‍යාත මරණයක්, කාලක‍්‍රියායෙක්, ස්ඛන්ධයන්ගේ බිඳීමක්, ශරීරයාගේ නික්ෂේපයක්, ජීවිතින්ද්‍රියාගේ උපච්ෙඡ්දයක් වේද ඇවැත්නි ඒ මරණ යැයි කියනු ලැබේ. මෙම අර්ථකතනය අනුව මරණයේ දී සිදු වන ක‍්‍රියාවලීන් රාශියක් විස්තර කෙරෙයි. එක් එක් සත්ව කොට්ඨාසයන්හි (මනුෂ්‍ය, බලූ, බළල්, වඳුරු, මත්ස්‍ය* උපදින සත්වයන් සිටිති. ඒ ජාතීන්හි උපදින සත්වයන් එම භවය අතහැර යාම මරණයේදී සිදු වන බව මෙහි මූලිකව සඳහන් වෙයි. එම භවය අතහැර නික්මීම හෙවත් චුතියත් සමග කර්ම ශක්තිය සහ චිත්ත ශක්තිය අතුරුදහන් වෙයි. එසේම රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන පංචස්ඛන්ධය බිඳී යාමක්, අක‍්‍රිය වීමක් දැකිය හැකිය. සත්වයාගේ ජීවිතය ර\ පවතිනුයේ මෙම පංචස්ඛන්ධයෙහි පැවැත්ම මතය. පංචස්ඛන්ධය බිඳී ගිය තැන මරණය සිදු වෙයි. ඒ සමග මුළු ශරීරයම අක‍්‍රිය වෙයි. මෙහිදී ජීවිතින්ද්‍රිය නමින් හඳුන්වන්නේ පුද්ගලයා තුළ පවතින ජීව ශක්තියයි. එම ශක්තියද නැති වී යයි. මෙය මරණය බව බුදුරදුන් පෙන්වා දෙයි. සංයුක්ත නිකායේ දී මරණය මෙසේ විස්තර වෙයි. ‘‘ආයුෂ්මාච විඤ්ඤාණං යදා කායං ජහන්තිමං අපවිද්දෝ තදා සේති පරභත්තං අචේතනං’’ ‘‘ආයුෂය, ඌෂ්ණය, විඤ්ඤාණය යන මේවා සිරුරෙන් ඉවත් වූ විට ඉවත දමන දරකඩක් වැනි තත්වයට පත් වීම මරණයයි.’’ සජීවී ප‍්‍රාණයක් තුළ ශක්තීන් තුනක් වෙයි. පළමු වැන්න ආයුෂයයි. එය ජීතින්ද්‍රිය ලෙසද හඳුන්වයි. එනම් උපතේ සිට එම ශරීරයේ පැවැත්ම තීරණය කරන කාල පරාසයයි. එසේම සෑම සත්වයෙකුගේම ශරීරයට ආවේණික වූ උණුසුමක් පවතියි. එය ශරීර සමස්තිතිය ලෙස විද්‍යාවේදී හැඳින්වෙයි. එක් එක් පුද්ගලයාගේ ශරීරයට ආවේණික වූ උණුසුම් ප‍්‍රමාණයක් වෙයි. එය ශරීරයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වෙයි. මරණයේ දී මෙම උණුසුම ශරීරයෙන් පහව යයි. ප‍්‍රාණය නිරුද්ධ කය සීතලය. එසේම ශරීරය හා බැඳුණු විඤ්ඤාණයන් ඇත. මෙම විඤ්ඤාණය සරලව පවසතොත් සිත, චිත්ත ශක්තිය ලෙස හැඳින්විය හැකිය. උපතේදී ගන්ධබ්බයකු ලෙසින් පැමිණෙන විඤ්ඥාණය මරණයේදී ශරීරයෙන් පහව යයි. විඤ්ඤාණයෙන් තොරව ශරීරය කෙසේවත් ක‍්‍රියාකාරී නොවෙයි. මෙසේ ආයුෂය, උණුසුම, විඤ්ඤාණය ශරීරයෙන් පහවූ කල සොහොනට ගෙන ගොස් දමන අතර එය කෘමීන්ට සහ පණු කුලයන්ට ආහාර පිණිස වෙයි. විසුද්ධි මග්ගයේ කර්මස්ථාන විවරණයේ මරණය විස්තර කරමින් මෙසේ සඳහන් වෙයි. ‘‘තත්ථ මරණංති ඒක භව පරියෝපනස්ස ජීවිතින්ද්‍රියස්ස උපච්ෙඡ්දෝ’’ ‘ඒකභව’ යනු සත්වයකුගේ උපතේ පටන් මරණය දක්වා පවත්වාගෙන යනු ලබන නාම රූප කොට්ඨාසයයි. අඛණ්ඩව පටිච්චසමුප්පන්නව උපදින මෙම පංචස්ඛන්ධ සමූහය ජීවිතින්ද්‍රය යනුවෙන් හඳුන්වයි. උච්ෙඡ්ද යනු සහමුලින්ම සිඳී යාමයි. මෙහි අර්ථය සමස්තයක් ලෙස ගත් කල යම් කලලයක් පිළිසිඳගත් අවස්ථාවේ සිට චුති අවස්ථාව තෙක් එකට බැඳී පවතින නාම රූප ධර්මයන්ගේ නැසී යාම මරණය ලෙස හැඳින්විය හැකිය. මරණයෙහි ප‍්‍රභේද බුදුදහමෙහි මරණය යන සංකල්පය ඉතා පුළුල් ලෙස විස්තර කර තිබෙයි. එහිදී සත්වයාගේ ප‍්‍රාණය නිරුද්ද වීම හුදු එක් සංකල්පයකින් පමණක් විස්තර කිරීමෙන් සීමා නොවී එය යම් ප‍්‍රභේදකරණයකට ලක් කර ඇත. මූලික වහයෙන්ම මරණයෙහි ස්වභාවය අනුව සහ මරණය සිදු වන ආකාර හෙවත් හේතු ප‍්‍රත්‍ය වශයෙන් ගෙන කොටස් කිහිපයකට බෙදා දැක්වෙයි. මරණය එහි ස්වභාවය අනුව ප‍්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා ඇත. එනම්,  සම්මුති මරණය  ක්ෂණික මරණය (ඛණික මරණය*  සමුච්ෙඡ්ද මරණය යනුවෙනි. සම්මුති මරණය සම්මුති මරණය නම් ඔහු මැරිලා, ගස මැරිලා යනුවෙන් සැමගේ සම්මුතියෙන් මිය ගිය බව පිළිගැනීමයි. බොහෝ මිනිසුන්ගේ සම්මුතියට හෙවත් ව්‍යවහාරයට අනුව මිනිසුන්ට සතුන්ට පමණක් නොව ගස් වැල් වලටද පණ තිබෙයි. අතීත මිනිසා ගස්වැල්වලට දේවත්වයක් ආරූඩ කර වැඳුම් පිදුම්ද කළහ. ලෝකයේ අනිත්‍ය ධර්මතාවයට අනුව සියලූම සත්වයන් සේම සංඛත වූ සියලූම දේ විනාශ වෙයි. ගස්වැල්ද විනාශ වෙයි. මිනිසාගේ හා වෙනත් සත්වයන්ගේ ජීවිතය විනාශ වී යාම මරණය නමින් හඳුන්වන්නාක් මෙන් ගස් වැල් එහි පැවැත්ම අවසන් කර විනාශ වී යද්දීද ‘මැරුණා’ යනුවෙන් හඳුන්වන්නට මිනිස්සු පුරුදු වූහ. නමුත් මෙහිදී ගස් වැල්වලට කර්ම ශක්තියක් හෝ විඤ්ඤාණයක් ආදී කිසිවක් නොමැතිය. මෙහිදී ගස මැරුණා වැල මැරුණා ආදි වශයෙන් හඳුන්වන්නේ සම්මුතියක් වශයෙනි. එය ගසෙහි රූප ජීවිතින්ද්‍රියාගේ විනාශ වී යාමයි. මෙය සම්මුති මරණයයි. සාමාන්‍ය ලෝකයා ගස් වැල්වලටද පණක් ඇති බව සලකන නිසා උපසම්පදා භික්ෂූන්ට පණ ඇති ගස් වැල් කැපීම පවා බුදුරජාණන් වහන්සේ විසින් තහනම් කළහ. වැසි කාලයෙහි ලපටි තණ පාගමින් දහම් චාරිකාවෙහි ගමන් කිරීම වළකාලමින් වස් විසීමට අනුදැන වදාළහ. මෙසේ එබඳු අවිඤ්ඤාණික ගස්වැල්වල මරණය සම්මුති මරණය යනුවෙන් සලකනු ලැබෙයි. ක්ෂණික මරණය (ඛණික මරණය* ක්ෂණික මරණය යනුවෙන් කියවෙන්නේ සංස්කාරයන්ගේ වහ වහා සිදු වන ක්ෂණ භංගයයි. මෙය පාලියෙහි ඛණික මරණය ලෙස හඳුන්වයි. එනම් සංස්කාර ධර්ම හෙවත් ස්ඛන්ධයන්ගේ වෙනස් වීමයි. ලෝකයෙහි සවිඤ්ඤාණික අවිඤ්ඤාණික සියලූ දෙය මොහොතක් පාසා වෙනස් වෙයි. එම සෑම වස්තුවකම උපතක්, පැවැත්මක් හා විනාශ වීමක් පෙන්නුම් කෙරෙයි. එම අවිඤ්ඤාණික හෝ සවිඤ්ඤාණික වස්තුව විනාශ වී යාමට මත්තෙන් පැවැත්ම නම් වූ දීර්ඝ කාල පරිච්ෙඡ්දයේදී මොහොතක් පාසා වෙනස් වෙයි. මිනිසෙකු වැඩිහිටි වයසෙහි සිටිනු පෙනුනද ඔහු එක විටම වැඩිහිටි නොවූයේය. එය ක‍්‍රමයෙන් වෙනස් වී එම තත්වයට පත් වෙයි. මෙසේ ක‍්‍රමයෙන් වෙනස් වීමේදී ඒවා ක්ෂණයක් පාසා තිබෙන තත්වයෙන් වෙනත් තත්වයකට පත් වෙයි. මිනිසාගේ ශරීරයේ සම, සිත පවා ක්ෂණයක් පාසා වෙනස් වෙයි. මෙම ඇසට නොපෙනෙන ක්ෂණික වෙනස් වීමද බුදු දහමෙහි මරණයක් ලෙස හඳුන්වන අතර ක්ෂණයක් පාසා වෙනස් වන හෙයින් ක්ෂණික මරණය ලෙස හඳුන්වයි. පවතින රූප ස්වභාවය මරණයට පත් වී වෙනත් රූප ස්වභාවයක් හට ගනියි. ඒ තුළ එහි පැවැත්ම හා වැඞීම සිදු වන අතර සමස්තයක් ලෙස සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් මරණයට පත් වීම දක්වා ක්ෂණික මරණය සිදු වෙයි. සමුච්ෙඡ්ද මරණය පෘථජ්ජන මිනිසුන් හා වෙනත් සත්වයින් මිය ගියද යළි උපදියි. නමුත් සම්බුද්ධ, පසේබුද්ධ, මහරහත් යන උතුමන් වහන්සේලා මියගියද නැවත නූපදිති. ඒ උන්වහන්සේලා කෙලෙස් ප‍්‍රහීණ කර ඇති හෙයිනි. මෙසේ කෙලෙස් ප‍්‍රහීණ කොට නිවන් පසක් කළ උතුමන් වහනසේලා යළි නූපදින ලෙස පිරිණිවන් පෑම සමුච්ෙඡ්ද මරණය යනුවෙන් හඳුන්වයි. එනම් රහතන් වහන්සේලා සියලූ සසර දුකින් මිදීමයි. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමද ක්ලේෂ පරිනිර්වාණය (සියලූ කෙලෙස් දුරු කර බුදු බවට පත් වීම* සහ ස්ඛන්ධ පරිනිර්වාණය (නැවත නූපදින ලෙස පංචස්ඛන්ධය සිඳී යාම* ලෙස කොටස් දෙකකට බෙදා දක්වා ඇත.   ක‍්‍රමය අනුව වර්ගීකරණය ව්‍යවහාරික ලෝකය තුළ සැබෑ ලෙසම මරණය යනුවෙන් හඳුන්වන්නේ ඉහතින් දක්වන ලද මරණයන් නොවෙයි. සත්වයකුගේ එක් භවයකට අයත් ජීවිතින්ද්‍රියාගේ සිඳී යාම මරණය ලෙස හඳුන්වයි. එම මරණය සිදු විය හැකි ක‍්‍රම හතරක් බෞද්ධ දර්ශනය තුළ විග‍්‍රහ වෙයි. එනම් ආයුෂය අවසන් වීමෙන් සත්වයා මරණයට පත් විය හැකිය. එසේම කර්මය අවසන් වීමෙන්ද මරණයට පත් විය හැකිය. එසේම ආයුෂය සහ කර්මය යන මෙම දෙකම අවසන් වීමෙන් මරණයට පත් විමටද හැකිය. එසේම ආයුෂයත් කර්මයත් යන දෙකම ඉතිරිව තිබියදී හදිසි අනතුරක් වැනි ආපදාවක් නිසා මරණයට පත් වීමද සිදු විය හැකිය. මේවා බෞද්ධ දර්ශනය තුළ පහත පරිදි සඳහන් වෙයි. x ආයුක්ඛය මරණය x කම්මක්ඛය මරණය x උභයක්ඛය මරණය x උපච්ෙඡ්දක මරණය යන ක‍්‍රම හතරයි. ආයුක්ඛය මරණය ආයුෂය අවසන් වීමෙන් පුද්ගලයකු මරණයට පත් වීම ආයුක්ඛය හෙවත් ආයුක්ෂය මරණය නමින් හඳුන්වයි. තවත් කාලයක් ජීවිතයේ සැප සම්පත් විඳීමට තරම් ශක්තිමත් පින් ඇතත් ආයුෂය අවසන් වීමෙන් මරණයට පත් වන මිනසුන් බොහෝය. සත්වයකු මේ ලෝකයට උපත ලබන විට ඔහු පෙර භවයන්හිදී කරන ලද කුසලාකුසල කර්ම ශක්තීන්ට අනුව යම් ආයුෂ ප‍්‍රමාණයක් උරුම කරගෙන පැමිණෙයි. ‘වස්ස සතංවා අප්පංවා හීයෝ’ යනාදි වශයෙන් දැක්වෙන පරිදි වර්ෂ සියයක් හෝ ඊට ආසන්න වශයෙන් අඩු වැඩි ප‍්‍රමාණයක් ජීවත් විය හැකිය. එම ආයුෂය අවසන් වීමෙන් සිදු වන මරණය ආයුක්ෂය මරණය යනුවෙන් හඳුන්වයි. එය පහනෙහි තෙල් තිබියදී තිරය අවසන් වීමෙන් නිවී යාමක් වැනිය. තෙල්වල ගැඹුර තරමට තිරය නොවූ විට තිරය අවසන් වන තෙක් පහන දැල්වෙමින් පැවතී නිවී යයි. තෙල් ඉතිරි වී තිබෙයි. මෙම යුගයේ මිනිසුන්ට සාමාන්‍යයෙන් අවුරුදු සියයක් පමණ පරමායුෂ ලෙස පවතියි. ඇතැම් විට එකසිය විස්ස එකසිය පනහ පමණ ජීවත් වන මිනිසුන්ද වෙති. ඒ ඒ පුද්ගලයා කරන ලද පින් අනුව පරමායුෂ ලැබෙයි. පුද්ගලයකුගේ පැවැත්ම යනු ආයුෂය, උණුසුම සහ විඤ්ඤාණයේ පැවැත්මයි. ආයුෂ පිළිබඳව අර්ථ දක්වන බුද්ධ ඝෝෂ හිමියන් ඉදිරිපත් කරනුයේ ආයුෂය වනාහි අළුවලින් ගිනි අගුරු ආවරණය වන්නා සේ ආයුෂය මුල්කොට පැවැත්ම ආවරණය වන බවයි. සෞත‍්‍රාන්තික දහමට අනුව ආයුෂය කර්මය ලෙස දක්වයි. නමුත් වර්තමානයේ ඇතැම් මිනිසුන් ජීවිතයේ අරුත කුමක්ද? තමන් ඉපදුනේ කුමකටද? ලැබූ මිනිස් දිවියෙන් කෙසේ ඵල ලැබිය යුතුද? කෙසේ ජීවත් විය යුතුද? යනාදි කිසිවක් නොදන්නා අඥාන මිනිසුන් විවිධ ක‍්‍රියාකාරකම් තුළින් තමන්ගේ ආයුෂ කෙටි කර ගනිති. ඉතා සැප සම්පත් සහිතව සතුටින් ජීවත් වීමට තරම් පින් කර ඇතත් සංකීර්ණ නූතන සමාජ ක‍්‍රමය හේතුවෙන් කර්ම අවනස් නොවීම ආයුෂ අවසන් කරති. වර්තමාන තරුණ පරපුර පවා ඇබ්බැහි වී සිටින මත් පැන්, මත් ද්‍රව්‍ය පුද්ගලයාගේ ආයුෂ කෙටි කරන එක් මාරකයකි. මත් ද්‍රව්‍ය හේතුවෙන් ශරීරයෙහි අංගෝපාංගයන් දියවී තැම්බී විනාශ වී යන අතර ශරීරය පවත්වාගෙන යාමට ඇති ශක්තිය හීන වී යයි. කර්ම අවසන් නොවූවද ශරීරය දුර්වල වීම හේතුවෙන් ආයුෂ අවසන්ව මරණයට පත්වෙයි. වර්තමානයේ විවිධ ආහාර ද්‍රව්‍යයන්ද මිනිසාගේ ආයුෂ සීමා කරන සාධකයකි. වස විස සහිත ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා ශරීරය තුළ විවිධ රෝගාබාධයන් හට ගනියි. පෝෂ්‍යදායී එළවලූ පළතුරු අත්හැර තෙලෙන් බදින ලද කෙටි කෑමෙන් බඩ පුරවා ගනියි. රසායනික ද්‍රව්‍ය පුරවන ලද මාලූ මස් හා බීම වර්ග ආහාරයට ගනිති. මෙවැනි ආහාරවල අවසන් ප‍්‍රතිඵලය වන්නේ මිනිසාගේ ආයුෂය ක‍්‍රම ක‍්‍රමයෙන් පිරිහී යාමයි. පිළිකා වැනි දරුණු රෝගවලට මුහුණ දීමයි. අඩු වයසින් මරණයට පත් වීමයි. එමෙන්ම බටහිර වෛද්‍ය ශාසත‍්‍රයෙන් පැමිණි ඖෂධ වර්ගයන්ද මිනිසාගේ රෝග සුව කරන අතරම ආයුෂයද කෙටි කරයි. එක් පැනඩෝල් පෙත්තක් බීමෙන් ආයුෂය විනාඩියකින් අඩු වන බවට මතයකි. ඒ අනුව විවිධ හේතූන් නිසා වර්තමාන මිනිසුන්ගේ ශරීර ශක්තිය දුර්වල වී ගොස් ඉක්මනින් මරණයට පත් වෙයි. මෙය ආයුක්ෂය මරණයයි. පැයක් දැල්විය හැකි ඉටි පන්දමක් දල්වා සුළං කපොල්ලක තැබුවහොත් එය පැය කාලකින් උණු වී වැගිරී අවසන් වෙයි. ජීවිතයද එසේමය. බාහිර පරිසර හා සාමාජීය සාදක හේතුකොට ගෙන ඉතා ඉක්මනින් ආයුෂ අවසන් වී මරණයට පත් වෙයි.   කම්මක්ඛය මරණය කර්මය හෙවත් පින් අවසන් වීමෙන් මරණයට පත් වීම කර්මක්ෂය මරණයයි. සෑම සත්වයකුම සසර නැවත් නැවත උපදින්නේ කර්ම රැුස් කිරීම නිසාය. යම් දිනෙක කර්ම රැුස් කිරීම නතර කළ හොත් ඔහු නැවත නූපදියි. ඒ රහත් වීමෙනි. අප සියලූ දෙනාම කොතැනක හෝ ඉපිද සිටින්නේ අප පෙර භවයන්හිදී කරන ලද කුසල හෝ අකුසල කර්මයක විපාක වශයෙනි. මිනිසාට ප‍්‍රතිසන්ධියේදී මෙම කර්මය බලපානු ලබයි. ආනන්තරිය පාප කර්ම කළ පුද්ගලයා නියත ලෙසම දෙවන භවයෙහි නිරයෙහි උපදියි. ගරුක කුසල කර්ම සිදු කළ පුද්ගලයා නියත ලෙසම දෙවන භවයේදී දෙව් ලොව උපත ලබයි. එය ජනක කර්මය නමින් හඳුන්වයි. පුද්ගලයා උපතත් සමග රැුගෙන එන මෙම කර්ම ශක්තිය අවසන් වීමෙන්ද මරණයට පත් විය හැකිය. ඔහුට තවත් කාලයක් ජීවත් වීමට අවශ්‍ය තරම් අයු ශක්තිය පැවතිය හැකිය. ශරීර ශක්තිය පැවතිය හැකිය. කෑම, බීම, ඍතු, කාල, ආරක්ෂා සංවිධාන ආදි ජීවිතය රැුක ගැනීමට අවශ්‍ය ප‍්‍රත්‍ය සම්පත් නොඅඩුව පැවතිය හැකිය. නමුත් ඔහුගේ කර්ම අවසන් වී ඇත්නම් මෙම සම්පත් කොපමණ තිබුණද මරණයට පත් වෙයි. ‘‘ලොව බොහෝ මිනිස්සු පරමායුෂ ඉතිරිව තිබියදී මිය යති. එසේ වන්නේ උපතේදී ගෙනෙන ලද කර්ම ශක්තිය අවසන් වීමෙනි. ගල් කැටයක් අහසට විසි කළ විට එය විසි කළ වේගය ඇති තාක් උඩ ගොස් වේගය ඉවර වූ පසු වැටෙන්නාක් වැනි දෙයකි. ඇතැම් විට එය සිදු වන්නේ උපඝාතක කර්මයක බලපෑම නිසාය. එය පහනෙහි තිරය හෙවත් ආයුෂ තිබියදී තෙල් අවසන් වීමෙන් හෙවත් කර්මය අවසන් වීමෙන් පහන නිවී යාම වැනිය.’’ කර්මක්ෂය හෙවත් පුණ්‍යක්ෂය මරණය සඳහා හොඳම නිදසුනක් ධම්මපදට්ඨ කතාවෙන් උපුටා ගත හැකිය. ඒ පතිපූජිකාවගේ කතා පුවතයි. තව්තිසා දිව්‍ය ලෝකයෙහි දිව්‍ය සැප සම්පත් විඳින මාලාභාරී නම් දිව්‍ය පුත‍්‍රයෙක් දහසක් පමණ දිව්‍යාංගනාවන් සමග මල් උයනට ගියේය. එහි පන්සීයක් පමණ දෙවගනන් මල් නෙළති. තවත් පන්සීයක් පමණ දිව්‍යාංගනාවන් මල් මාලා ගොතමින් දිව්‍ය පුත‍්‍රයාට උපහාර දක්වති. මේ අතර සිටි එක් දිව්‍යාගනාවක් මරණයට පත්ව දෙව් ලොවින් චුත වී මිනිස් ලොව සැවැත් නුවර එක් කුලගෙයක ඉපිද දහසය වයස් ගතවූ කල විවාහ වී දරුවන් සිව් දෙනෙකුද ලබා මියගොස් ඇයගේ පැතුම අනුව නැවතත් මාලාභාරී දිව්‍ය පුත‍්‍රයාගේ දෙවගනන් අතරම උපත ලැබුවාය. එතෙක් එම දෙවගනන් පිරිස උදේ මල් නෙළන්නට පැමිණි ගමන් උයනේය. තව්තිසා දෙව්ලොව දෙවියන්ට මිනිස් ලොව වර්ෂ සියයක් එක් දිනයකි. මෙහි පතිපූජිකාව දෙව් ලොවින් චුත වූයේ කර්මය අවසන් වීමෙනි. මිනිස් ලොවින් මියගියේද කළ කර්මය අවසන් වන තෙක් අවුරුදු විසිපහක් තරම් කාලයක් ජීවත්ව සිටය. මිනිස් ලොව සිටි එම කාලයේ කරන ලද කුසල කර්ම හේතුවෙන් නැවත දෙව්ලොව උපත ලැබුවාය. තව්තිසා දිව්‍ය ලෝකයෙහි ආයුෂ තීරණය වන්නේ කර්මය අනුවය. කර්මය අවසන් වීමෙන් දෙව්ලොවින් චුත වෙයි. අපගේ සමාජයේද බොහෝ මරණ කර්මය අවසන් වීම නිසා සිදුවෙයි. වෛද්‍ය ශාස්ත‍්‍රය ඉතා දියුණු මට්ටමක පවතින නිසා රෝගාබාධවලට ප‍්‍රතිකාර කළ හැකිය. ආහාරපානවලින් අඩුවක් නැත. එවන් තත්වයක් තුළ බොහෝ මිනිසුන් කර්මය අවසන් වීම නිසා මරණයට පත් වෙති. කර්මක්ෂය වශයෙන් ගත්කල පින අවසන් වීමෙන් මෙන්ම පව අවසන් වීමෙන්ද මරණයට පත් වෙයි. උභයක්ඛය මරණය කර්මයත් අයුෂයත් දෙකම එකවර අවසන් වීමෙන් සිදු වන මරණය උභයක්ෂය මරණයයි. ඇතැම් විට මෙලොව උපදින සත්වයා කර්ම ශක්තිය අවසන් වීමෙන් හා ආයු ශක්තිය අවසන් වීමෙන් මිය යන්නාක් මෙන් මෙම දෙකම එකවර අවසන් වීමෙන්ද මරණයට පත් වීමට හැකිය. මෙම පුද්ගලයන් පරමායුෂ ලෙස අවුරුදු සියයක් පමණ කාලයක් ජීවත් වෙයි. එසේම එම කාලය තුළ ඔවුන් සැප සම්පත් විඳිමින් සතුටින් ජීවත්ව සිටිති. ඔවුහු ආයු සම්පත්තිය මෙන්ම කර්ම සම්පත්තියද අනුභව කර අවසන් කර මරණයට පත් වෙති. අප සමාජයේ බොහෝ විට මෙවැනි මරණ දුර්ලභය. එක්කෝ අඩු ආයුෂයෙන් මියයති. නැතිනම් හදිසි අනතුරු වැනි ආපදාවක් නිසා මරණයට පත් වෙති. අතීත මිනිසුන් බොහෝ දෙනෙකු කර්මය සහ ආයුෂ යන දෙකම අවසන් කර මරණයට පත් වූහ. වර්තමාන සමාජයේද ඇතැම් විට අවුරුදු සියයක් පමණ වන එමෙන්ම යම් නිරෝගී තත්වයක සිටින වැඩිහිටියන් බොහෝමයක් දැකගත හැකිය. ඔවුන් උභයක්ෂය මරණයෙන් මරණයට පත් වෙති. මෙය පහනෙහි තෙල් සහ තිරය යන දෙකම අවසන් වීමෙන් පහන නිවී යැමක් වැනිය. උපච්ෙඡ්දක මරණය ජීවත් වීමට අවශ්‍ය සියල්ල තිබියදී යම් අනතුරක්, උවදුරක්, හෝ ක්ෂණික ව්‍යසනයක් නිසා මරණයට පත් වීම උපච්ෙඡ්දක මරණයයි. උපන් සත්වයාට ජීවත් වන්නට සිදු වන්නේ විවිධ දුක් කරදරවලට මෙන්ම ව්‍යසනයන්ට මුහුණ දෙමිනි. සොබාදහම අපූර්වය. ඉතා රමණීය ලෙස තිබෙන මහ මුහුද ක්ෂණයකින් ගොඩ ගලා අප‍්‍රමාණ විනාශයක් සිදු කරයි. අප‍්‍රමාණ ජීවීන් ප‍්‍රමාණයක් මරණයට පත් කරයි. ඉතා රමණීය ලෙස වැඞී තිබෙන කඳු පන්තිය ක්ෂණයකින් නාය ගොස් වාසස්ථාන කැඞී බිඳී ගොස් මිනිසුන් මරණයට පත් කරයි. මේ ආකාරනේ සිදු වන විපත්වලදී ඇතැම් විට මිනිසුන් දහස් ගණන් එක විට මරණයට පත්වෙයි. එහිදී මිය යන මිනිසුන් කර්මය නිසා මිය ගියේ යැයි නිශ්චිත ලෙසම අපට පැවසිය නොහැකිය. ආයුෂ අවසන් වී මිය ගියේ යැයි කියාද නිශ්චිතව පැවසිය හැකිය. එම මිනිසුන් ආයුෂ හා කර්මය යන දෙකම අවසන් නොවී තිබියදී සිදු වූ උවදුර නිසා මරණයට පත් වෙයි. එය උපච්ෙඡ්දක මරණයයි. මීට වසර අටකට පමණ ඉහතදී සිදු වූ සුනාමි ව්‍යසනය මෙයට හොඳම නිදසුනකි. එහිදී ලක්ෂ ගණනක් ලොව පුරා මිනිසුන් මරණයට පත් වූයේ එක් නිමේෂයකිනි. සිතන්නටවත් ඉඩක් නොමැතිවය. එහිදී තරුණ මහලූ ළමා සෑම වයසකට මිනිසුන් මරණයට පත් විය. ඔවුන් එම අනතුරට භාජනය නොවී සිටියේ නම් තවත් කාලයක් ජීවත් වීමට අවශ්‍ය ආයුෂ මෙන්ම කර්ම ශක්තියද ඉතිරිව පවතින්නට ඇත. එසේ සිදු වූ මරණය උපච්ෙඡ්දක මරණයයි. වර්තමානයේ බහුල ලෙස මිනිසුන් මාර්ග අනතුරු හා ගුවන් යානා අනතුරු නිසා මරණයට පත් වෙති. බොහෝ විට තරුණයන් එසේ මරණයට පත් වෙයි. ඇතැම් විට එකම රථයේ සිටින විශාල පිරිසක් මරණයට පත් වෙති. රියදුරාගේ සිදු වන අත්වැරදීමක් නිසා මෙසේ මරණයට පත් වන මිනිසුන් කර්මය අවසන් වීමෙන් හෝ ආයුෂ අවසන් වීමෙන් මිය යතියි පැවසිය නොහැකිය. ඔවුන්ගේ මරණයට හේතුව හදිසි අනතුරයි. පසු ගිය දිනෙක පාකිස්ථානයේ සිදු වූ ගුවන් යානා අනතුරකින් එහි සිටි මගීන් එකසිය හතලිස් දෙනෙකුම මරණයට පත් විය. ඔවුන්ගේ මරණයන්ද උපච්ෙඡ්දක මරණ ලෙස අපට හැඳින්විය හැකිය. මෙසේ කර්ම ශක්තියත් ආයුෂයත් යන දෙකම ඉතිරිව තිබියදී ජීවත්වීමට අවශ්‍ය සියල්ල තිබියදී සිදු වන හදිසි අනතුරක් හෝ ආපදාවක් වැනි තත්වයක් හේතුවෙන් මරණයට පත් වීම උපච්ෙඡ්දක මරණයයි. එය පහනෙහි තෙල් සහ තිරය යන දෙකම ඉතිරිව තිබියදී පහන හොඳින් දැල්වෙද්දී හදිසියේ හමන සුළගකින් පහන නිවී යාමක් වැනිය. තවත් ප‍්‍රභේද මෙම ඉහතින් සඳහන් කළ මරණයෙහි ප‍්‍රභේද කිහිපයට අමතරව බුද්ධ දේශනාවේ යම් යම් ස්ථාන වලදී විස්තර වන තවත් මරණ කිහිපයක් දැක ගත හැකිය. එනම් x ජීවිතින්ද්‍රිය උපච්ෙඡ්ද මරණය x කාල මරණය x අකාල මරණය යන තුනයි.   ජීවිතින්ද්‍රිය උපච්ෙඡ්ද මරණය එක් භවයකට අයත් ජීවිතින්ද්‍රිය නැති වීම, සිඳී යාම ජීවිතින්ද්‍රිය මරණය උපච්ෙඡ්ද මරණයයි. එනම් පුද්ගලයකු යම් කිසියම් හෝ ආකාරයකින් මරණයට පත් වීමයි. පුණ්‍යක්ෂය මරණය, ආයුක්ෂය මරණය, උභයක්ෂය මරණය, උපච්ෙඡ්දක මරණය යන මරණ සියල්ලම ජීවිතින්ද්‍රියෝපච්ෙඡ්ද මරණයෙහිම සංගෘහීත වෙයි. කර්මය අවසන් වීමෙන් හෝ ආයුෂ අවසන් වීමෙන් හෝ මෙම දෙකම සිදු වීමෙන් හෝ හදිසි උවදුරකින් හෝ යම් ආකාරයකින් මරණයට පත්වේද එය පොදුවේ ජීවිතින්ද්‍රිය උපච්ෙඡ්ද මරණය ලෙස හඳුන්වයි. කාල මරණය මෙය ආයුෂයද පිනද අවසන් වීමෙන් සිදු වෙයි. පුද්ගලයකු උපදින විට ජීවත් වීමට අවශ්‍ය කරන කර්ම ශක්තියක් සහ යම් ආයුෂ ප‍්‍රමාණයක් රැුගෙන එන බව මෙහි මුලදී විස්තර කරන ලදී. ඇතැම් විට පුද්ගලයන් හදිසි ආපදා හේතුවෙන් කර්මය හෝ ආයුෂ අවසන් වීමටද මත්තෙන් උපච්ෙඡ්ද මරණයට පත්වෙති. එසේ නොවී ආයුෂ හා කර්මය නොඅඩුව භුක්ති විඳ මරණයට පත් වීම කාල මරණය ලෙස හඳුන්වයි. එනම් සුදුසු කාලයෙහි මරණයට පත් වීමයි. කර්මක්ෂය මරණය, ආයුක්ෂය මරණය හා උභයක්ෂය මරණය යන තුනම කාල මරණය ගණයෙහි ලා සැලකෙයි. අකාල මරණය උපච්ෙඡ්ද කර්මයෙන් - අතුරු බාධකයකින් වන මරණය මෙයින් අදහස් වෙයි. එනම් අකාලයෙහි මරණයට පත් වීමයි. ඉහතින් විස්තර කළ උපච්ෙඡ්දක මරණය අකාල මරණයකි. මෙය තත්ක්ෂණික වශයෙන්ද පූර්ව කෘත කර්ම වශයෙන්ද යැයි දෙපරිද්දකින් සිදු වෙයි. දුෂී මාර, කලාබු රජ ආදීන් මෙන් ඒ ක්ෂණයෙහි කරන ලද බලවත් වූ අකුසල කර්මයක් හේතුවෙන් සිටි භවයෙන් ඉවත් වීම තත් ක්ෂණික කාල මරණයයි. නිදසුනක් ලෙස බුදුරජාණන් වහන්සේ පිඩු සිගා වඩින විට ඒ මග අහුරාලමින් බීමතින් මත් වූ සුප‍්‍රබුද්ධ රජතුමා බුදු රදුනට බැණ වැදුනහ. එම පාප කර්මයෙන් ඔහු ඒ මොහොතේම මරණයට පත් වී නිරයෙහි උන්නේය. එසේම වනයේ හුදෙකලාව සිටි උත්ඵලවණ්ණා රහත් මෙහෙණිය ¥ෂණය කළ නන්ද මානවකයා ඒ මොහොතේම මියගොස් අපා ගත විය. ඒ තත්ක්ෂණික අකාල මරණයයි. පෙර ආත්මභාවවල තමන් කළ අකුසල කර්මයක් විපාක දීම් වශයෙන් පුද්ගලයා අකාල මරණයට පත් විය හැකිය. එය උපච්ෙඡ්දකව සිදු වන මරණයකි. ඇතැම් විට දිට්ඨ ධම්ම වේදනීය කර්ම වශයෙන්ද අපරාධ කළවුන්ට මේ ආත්මයේදීම අවාසනාවන්ත ලෙස අකාල මරණයන්ට මුහුණ දීමට සිදු වෙයි. මුගලන් මහ රහතන් වහන්සේ පූව කළ කර්මයක් විපාක දීම් වශයෙන් සොරුන්ගෙන් පහර කා අකාලයෙහි මරණයට පත් විය. එය පූර්ව කෘත අකාල මරණයයි. මනෝවිද්‍යාත්මක පැතිකඩ හුදෙක්ම මරණය මිනිසාගේ මනස හෙවත් විඤ්ඤාණය හා බැඳී පවතින්නකි. ‘‘ආයුෂ්මාච විඤ්ඤාණං’’ යනුවෙන් පැහැදිළි කළ තැන මරණයේදී ආයුෂය සමග විඤ්ඤාණයද පහවී යයි. සජීවි පුද්ගලයාගේ ශරීරය මනසේ ක‍්‍රියාකාරීත්වය මත ර\ පවතියි. මොළය ක‍්‍රියාත්මක වන්නේ මනස හෙවත් විඤ්ඤාණය පවතින තාක් පමණි. මනසක් නැති ශරීරය මළ මිනියකි. සියලූම සත්වයෝ මරණයට බිය වෙති. ‘‘සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනෝ’’ යනුවෙන් බුුදු රදුන් දේශනා කොට ඇති පරිදි සියලූ සත්වයෝ දඩුවමට සේම මරණයටද බිය වෙති. මනෝවිද්‍යාත්මකව ගත් කළ බිය යනු චිත්තවේගයකි. බිය නැමැති චිත්තවේගය ඇති වීමට මරණය හේතුවක් වෙයි. ඇතැම් පුද්ගලයන් සියදිවි නසා ගෙන මරණයට පත්වෙති. සියදිවි නසා ගැනීම මනොවිද්‍යාවෙහි ඉතා දැඩි ලෙස සාකච්ඡුාවට බඳුන් වන සිදු වීමකි. මනසින් රෝගී වීම හෙවත් විෂාදය වැනි මානසික රෝගී තත්වයකට පත් වූ පුද්ගලයකු නිරන්තරයෙන්ම සියදිවි නසා ගැනීමේ චේතනාවලින් යුක්තවෙයි. විවිධ සමාජ ප‍්‍රශ්න හා ආදර සබ\තා බිඳ වැටීම් වැනි තත්වයන් හමුවේ මිනසුන් සියදිවි නසා ගනිති. මනෝඋපදේශනයට අනුව විශාදිත පුද්ගලයකුගේ සියදිවි නසා ගැනිමේ අවධානම පිළිබඳව ඉතා අවධියෙන් සිටිය යුතු අතර එයට වහා ප‍්‍රතිකාර කළ යුතුය. එසේ නැති නම් ඔහු හෝ ඇය උපච්ෙඡ්දක මරණයෙන් සියදිවි නසා ගෙන මරණයට පත් විය හැකිය. එසේම සමීප ඥාතියෙකුගේ මරණය බොහෝ විට කාංසාව, විශාදය වැනි මානසික රෝගී තත්වයන් ඇති කිරීමට සමත් වෙයි. තමන්ගේ සැමියා මරණයට පත් වීම, මව පියා මරණයට පත් වීම, ¥ දරුවන් අකාලයේ මරණයට පත් වීම තුලින් ඉතා දුකට පත් වන එම ඥාති සබඳතා ඇති පුද්ගලයන් කාංසාව තත්වයට පත්වෙයි. එය වඩාත් දරාගැනීමට නොහැකි වුවහොත් විශාදයට පත්වෙයි. ඒ අනුව මරණය යන්න මනෝවිද්‍යාත්මකව ඉතා වැදගත් මාතෘකාවකි. නිදසුනක් ලෙස බුදුරජාණන් වහන්සේ දවස සිටි පටාචාරාව පිස්සියක බවට පත්වූයේ එක වර තමන්ගේ සැමියා, මව, පියා, දරු දෙදෙනා සහ සොහොයුරා යන සියලූ ඥාතීන්ගේ මරණයට පත්වීම හමුවේ එම දුක දරා ගැනීමට නොහැකිවය. ඇයගේ මානසික රෝගයට පිහිට වූයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයයි. එසේම තම පුතුගේ මරණයෙන් දුකට පත් වූ කිසාගෝතමියගේ කාංසා තත්වයට බුදුරදුන්ගේ මනෝඋපදේශනයෙන් සහනය උදා විය.   නිගමනය බුද්ධ දේශනාවට අනුව උපන් සත්වයාට මරණය නියතය. මරණය උරුමය. මරණයෙන් මිදීමට නම් නැවත ඉපදීම නතර කළ යුතුය. ඒ කෙලෙස් ප‍්‍රහීණ කිරීමෙනි. පුද්ගලයා මරණයට පත් වන ආකාර ප‍්‍රධාන වශයෙන් හතරක් වෙයි. කර්මය අවසන් වීමෙන්, ආයුෂ අවසන් වීමෙන්, කර්මය හා ආයුෂ යන දෙකම අවසන් වීමෙන් හා හදිසි අනතුරක්, ආපදාවක් වැනි සිදුවීමක් හේතුවෙනි. කෙසේ වුවද ඇතැම් අවස්ථාවකදී යම් කෙනෙකුගේ මරණය තවත් කෙනෙකුගේ කාංසාවට හා විශාදයටද හේතුවක් වෙයි. ඇතමුන් සියදිවි නසාගෙන මරණයට පත් වන අතර මනෝඋපදේශනය තුළ ඒ පිළිබඳව පුළුල් ලෙස අධ්‍යනය කෙරෙයි. මනෝවිද්‍යාත්මකව ගත් කළ මරණය මනෝඋපදේශන ක්ෂේත‍්‍රයට ඉතා වැදගත් මාතෘකාවකි. ඒ පිළිබඳව තවතවත් පර්යේෂණ කිරීමෙන් දියුණු කළ යුතුවෙයි.   ආශි‍්‍රත ග‍්‍රන්ථ අතුකෝරල, ඒ., (2008*, මරණින් පසු ලෝකය, කර්තෘ ප‍්‍රකාශන ධම්මසිරි හිමි, කේ., (2009*, බුදු සමයේ පෙනෙන මාරයා, වැලියාය, කර්තෘ ප‍්‍රකාශන මාහනාම හිමි, එම්., (2010*, සමර්චනා, පාලි හා බෞද්ධ අධ්‍යන ආයතනය මෛත‍්‍රීමූර්ති හිමි, කේ. යූ., (2001*, මනස පිළිබඳ බෞද්ධ විග‍්‍රහය, කොළඹ 10, සමය වර්ධන පොත්හල (පුද්ගලික* සමාගම විජේසිංහ, එන්., (2007*, අසිරිමත් බුදු දහම, දංකොයුව, වාසනා ප‍්‍රකාශකයෝ සීලරතන නාහිමි, එච්., (1969*, පුනර්භවය හා නිර්වාණය, කොළඹ 10, රත්න පොත් ප‍්‍රකාශකයෝ
 
Copyright © psychology