Thursday, December 5, 2013
මනෝවිද්‍යාවේ විකාශනය හා එහි දාර්ශනික පදනම
මනෝවිද්‍යාවේ ඉතිහාසය
මිනිසා ලොව බිහිවූ මුල් යුගවල සිටම මනසේ ස්වභාවය තේරුම් ගැනීමට සහ එහි ක්‍රියාකාරීත්වය විමර්ශනය කරන්නට පුරුදුව සිටියේය. අතීත චීන" ඊජිප්තු, බැබ්ලෝනියානු ආදී සෑම ශිෂ්ටාචාරයකම මෙවන් වූ විමර්ශන දැකගත හැකිය. අවුරුදු පන්දාහකට වඩා පැරණි වූ මෙම ශිෂ්ටාචාර වල මනෝවිද්‍යාව පැවතියේ දාර්ශනික විෂයක් ලෙසිනි. මනෝවිද්‍යාව යන සිංහල භාෂා භාවිතය ඉංග්‍රීසි භාෂාවේ “psychology" යන වචනය ඇසුරින් ගොඩනැගී ඇත. මෙම ඉංග්‍රීසි භාෂා භාවිතය ග්‍රීක භාෂාවේ "psychologia” යන්නෙන් පරිණාමය වූවක් ලෙස සැලකේ. මෙම ග්‍රීක භාෂා භාවිතය “Psyche” හා “logos” යන වචන වල එකතුවකි. “Psyche” යන්න, ග්‍රීක භාෂාවේ ආත්මය, ප්‍රාණය, ආධ්‍යාත්මය යන අර්ථ දක්වයි. “logos” යනු කතා කිරීම හෙවත් වචනය ලෙස අර්ථ දැක්විය හැකිය. ඒ අනුව “psychology" යන්නෙහි සම්පූර්ණ අර්ථය “ආත්මය භාවිතය පිළිබඳ කතා කිරීමේ විෂය” ලෙස ගතහැකිය.
ඉන්දියානුවන් මනස යනුවෙන් විග්‍රහ කළේ වඩා සංකීර්ණ හා විස්තීර්ණ අදහසකි. ඔවුන් ග්‍රීකයන් මෙන් මනස ශරීරයෙන් බැහැර නොකළ අතර ශරීරයත්, මනසත්, විශ්වයත් එකිනෙක පරිවර්තනය වන එකම ප්‍රපංචයක් ලෙස විග්‍රහ කරන ලදි. නමුත් දහ නමවන ශතවර්ෂයෙන් පසුව මනෝවිද්‍යා විෂය ශාස්ත්‍රීය වශයෙන් දියුණු වන්නට විය. නමුත් 19 වන සියවස අගභාගය වනවිට මනෝවිද්‍යාව යනු කුමක්දැයි විග්‍රහ කීරිමට නිර්වචන රැසක් ඉදිරිපත් වී ඇත. “විලියම් ජේම්ස්” නම් ඇමෙරිකානු ජාතික මනෝවිද්‍යාඥයා ප්‍රථම වරට “මනෝවිද්‍යාව” යන්නට විධිමත් විග්‍රහයක් ලබාදුනි. එනම්,
''මනෝවිද්‍යාව යනු, මානසික ජීවිතය පිළිබඳ විද්‍යාවයි.'' මොහු මේ පිළිබඳව ''මනෝවිද්‍යාවේ මූලධර්ම” (principal of psychology ) යන ග්‍රන්ථය මගින් කරුණු දක්වා ඇත. නමුත් විසිවන ශතවර්ෂයේ මුල් භාගයේදි පමණ ''චර්යාවාදය'' නම් වු නවතම මනෝවිද්‍යා ගුරුකුලය බිහිවීමෙන් අනතුරුව ජේම්ස්ගේ මෙම මතය යල්පැන ගිය එකක් බවට පත්විය. ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ ''මානසික ජීවිතය'' යන සංකල්පය සංවිධිමත් සංකල්පයක් නොවීමයි. චර්යාවාදි මනෝවිද්‍යාවේ නිර්මාතෘ වූ ජේ.බී. වොට්සන් පවසන ලද්දෙ ''පුහුණු හා නුපුහුණු මිනිස් චර්යාවන්ගේ ක්‍රියාවන් සහ ප්‍රකාශයන්ට අදාළ විෂය ක්ෂේත්‍රය අධ්‍යයනය කරනු ලබන්නේ” මනෝවිද්‍යාව තුළින් බවයි. මොහු විසින් ප්‍රකාශ කළ ''මනෝවිද්‍යාව යනු චර්යාවක් අධ්‍යයනය කිරීම'' යන මතවාදය මනෝවිද්‍යා ලෝකයේ අදටත් නොවෙනස්ව පවතී. ඒ කෙසේ නමුත් නූතන මනෝවිද්‍යාඥයන් පිළිගනු ලබනුයේ මිනිස් මනස හා චර්යාව යන ක්ෂේත්‍ර දෙකම අධ්‍යයනය කිරීම මනෝවිද්‍යාවේ කාර්යභාරය බවයි. ඒ අනුව විවිධ මනෝවිද්‍යාඥයන් විවිධ යුගවලදී ඉදිරිපත් කරන ලද නිර්වචන ගත්කළ මනෝ විද්‍යාව ඉතා පුළුල් හා සංකීර්ණ විෂයක් බව පැහැදිළි වෙයි.
දාර්ශනික පදනම
ග්‍රීක යුගය, මධ්‍යතන යුගය, පූර්ව නූතන යුගය, නූතන සහ සමකාලීන යුගය ලෙස මනෝවිද්‍යාවේ ඉතිහාසය යුග හතරකට බෙදා දැක්විය හැකිය. මෙම සියළු යුගයන්හි චින්තකයින් හා දාර්ශනිකයන් ඉදිරිපත් කර ඇති සංකල්පයන්ගෙන් නූතන මනෝවිද්‍යාවට පදනම වැටී ඇත. එහිදී නූතන මනෝවිද්‍යාව ගොඩනැගීමට ඉදිරිපත් වූ පුද්ගලයන්, දාර්ශනිකයන් හා වෛද්‍යවරුන් ලෙස ප්‍රධාන දෙපිරිසකට බෙදා දැක්විය හැකිය. දාර්ශනිකයන් මනෝවිද්‍යාවේ චින්තනමය පදනමද, වෛද්‍යවරුන් මනෝවිද්‍යාවේ ප්‍රතිකාරාත්මක පදනමද සකස් කළ අතර “නූතන මනෝවිද්‍යාව” එහි ප්‍රතිඵලය විය.
ග්‍රීක යුගය
ග්‍රීක ජාතිකයන් පුරාණයේ සිටම ආත්මය පිළිබඳ කරුණු පරීක්ෂා කළ අතර ග්‍රීක දාර්ශනිකයන් ආත්මයේ ස්වභාවය සහ එහි ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කළේය.
ග්‍රීක දර්ශනය තුළ ආත්මය පිළිබඳව පළමු වරට අදහස් ඉදිරිපත් කරමින් ''දර්ශනයේ පියා'' බවට පත් වූයේ තේල්ස් (ක්‍රි.පූ.624-546) නම් දාර්ශනිකයාය. මේ යුගයේ විසූ තවත් දාර්ශනිකයෙකු වූ පෛතගරස් '' ආත්මය අමරණීය දෙයකැයි'' ප්‍රථම වරට ප්‍රකාශ කළේය. ආත්මය පිළිබඳ ''හෙරක්ලීටස්'' නම් දාර්ශනිකයාගේ මතය වූයේ ආත්මය තේජස් හා ආපෝ වල මිශ්‍රණයක් බවයි.
ග්‍රීක යුගයේ වැදගත්ම දාර්ශනිකයා ලෙස සැලකෙනූයේ ප්ලේටෝය. ඔහුට අනුව ප්‍රපංච ලෝකය විවිධය. ඒ අනුව ආකෘති ලෝකය අතීන්ද්‍රිය වන අතර ආත්මය පවතින්නේ ආකෘති ලෝකයේය. ප්ලේටෝට අනුව ආත්මය ප්‍රපංච ලෝකයට පැමිණීමට පෙර ආකෘති ලෝකය තුළ සැරිසරා ඇත. මිනිසාට අවශ්‍ය කරන සජීවි ගුණය හා ගති ලක්ෂණ ලබාදෙන ආත්මයේ බලපෑමෙන් මිනිසාගේ මානසික ක්‍රියාවලීන් සිදුවන බව ප්ලේටෝ තවදුරටත් දක්වා ඇත.
ප්ලේටෝගේ ගුරුවරයා වන සොක්‍රටීස් ආත්මය අමරණීය බව විශ්වාස කළ අතරම ''ඥානය නම් සද්ගුණය වේ, සද්ගුණය නම් ඥානය වේ'' යනුවෙන් ප්‍රකාශ කරන ලදී. ප්ලේටෝගේ කීර්තිමත් ශිෂ්‍යයෙකු වූ ඇරිස්ටෝටල් ද එය පිළිගත් අතර මිනිස් ආත්මය හේතුවාදී බව ඔහු ප්‍රකාශ කළේය
මධ්‍යකාලීන යුගය
මෙම යුගයේදීද මනෝවිද්‍යාවේ වර්ධනයට දායක වූ දාර්ශනිකයන් රැසක් අපට හමුවේ. ඒ අතර තුන්වන සියවසේ ජීවත් වූ ශාන්ත ඔගස්ටීන්ට වැදගත් තැනක් හිමිවේ. ඉන්ද්‍රිය සංවේදන පද්ධතියේ ක්‍රියාකාරීත්වය සහ ප්‍රජානනයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි මොහු වැඩි අවධානයක් යොමු කළේය. ප්‍රජානනය මගින් මිනිසා වෙනත් සතුන්ගෙන් වෙනස් වන බවත් ඒ හේතුවෙන් මිනිසාට ඉන්ද්‍රීය සංවේදනයන් ඉක්මවා අභ්‍යන්තර ඥානයක් ඇති කරගත හැකි බවද දැක්චීය.
මධ්‍යකාලීන යුගයේ තවත් වැදගත් දාර්ශනිකයෙක් ලෙස ශාන්ත ඇක්වයිනාස් හදුනාගත හැකිය. ශාන්ත ඔගස්ටීන්ගේ ඉගැන්වීම් දියුණු කළ මොහු පැවසුවේ ඉන්ද්‍රීය සංවේදන පද්ධතිය චාලක, අභිරුචි, ප්‍රජානන සහ ස්වච්චන්දතා ලෙස කොටස් හතරකින් යුක්ත බවයි. මනෝවිද්‍යාවේ වැදගත්ම සංකල්ප වර්ධනය කළ මොවුන්ගේ දුර්වලතාව වූයේ මෙම සංකල්ප සියල්ලම අවසානයේදී දේව සංකල්ප සම්බන්ධ කිරීමය.
පූර්ව නූතන යුගය
මෙම යුගය ලෙස සැලකෙනූයේ පහළව සහ දහනමවන ශතවර්ශ අතර කාලයයි. යුරෝපයේ විද්‍යා, ශාස්ත්‍ර සහ කලා පුනරුදයක් සිදු වූ මෙම යුගයේදී විද්‍යාත්මක මනෝවිද්‍යාවේ සෛධාන්තික ඥානයට අවශ්‍ය විෂය කරුණු රාශියක් දාර්ශනිකයන් හා චින්තකයන් විසින් ගොඩනැගූ අතර විද්‍යාඥයන් විසින් ප්‍රතිකාරක අංශයට අවශ්‍ය විෂය කරුණු සම්පාදනය කළේය.
මෙම සියවසේ චින්තකයන් අතර ෆ්‍රැන්සිස් බේකන් ඉතා වැදගත් වේ. මොහු නවීන විද්‍යාවේ ප්‍රථම විධික්‍රමවාදියා වූ අතර උද්ගමනවාදී තර්කන ක්‍රමය ලොවට හදුන්වා දුනි. නූතන සම්පරීක්ෂණ මනෝවිද්‍යාවේ ආරම්භය සනිටුහන් කරන්නේද මොහුමය. මෙම යුගයේදී මනෝවිද්‍යාවේ වර්ධනයට දායක වූ තවත් වැදගත් චින්තකයෙක් ලෙස රෙනේ දේකර්ත් හැදින්විය හැකිය. ප්‍රථම වරට 'ආත්මය' යන සංකල්පය වෙනුවට 'මනස' යන්න යොදාගත් මොහු, මනස හා ශරීරය එකිනෙක වෙන්කර දක්වමින් මනස පිලිබද අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවේ ස්වාධීන විෂය ක්ෂේත්‍රයක් බවට පත්කළේය. දාර්ශනිකයින් අතර ප්‍රකට බුද්ධිමතෙක් වූ මොහුගෙන් බුද්ධිවාදී දාර්ශනික සම්ප්‍රදාය ඇරඹුණී.
බුද්ධිවාදී සම්ප්‍රදායට එරෙහිව අනුභූතිවාදී දාර්ශනික සම්ප්‍රදායය දාහත්වන ශතවර්ශයේ ඇතිවූ අතර එහි පුරෝගාමියා වූයේ ජොන් ලොක් ය. උපතේදී මිනිස් මනස පිරිසිදු පුවරුවකට(Tabula Rasa) සමාන කරන මොහු සියලු ඥානයන් අනුභූතියෙන් ගොඩනැගෙන බව දක්වයි. මිනිස් ඥානය ගොඩනැගීම සදහා සංවේදනය සහ ප්‍රත්‍යවේක්ෂණය යන මූලාශ්‍ර දෙකම සම්බන්ධවේ යන නූතන මනෝවිද්‍යාවේ පුරෝගාමී ගුරුකුලයන් වන ව්‍යුහවාදය හා කාර්යබද්ධවාදය මිනිසාගේ මානසික හැසිරීම් සම්බන්ධයෙන් වැඩි දියුණුකළේ මෙම චින්තනයයි.
මෙම යුගයේ සිටි බර්ක්ලේගේ මතය වූයේ “මිනිස් දැකීම මුලුමනින්ම මානසික නිෂ්පාදනයක්” බවයි. දේකාර්ත් ඇති කල සම්ප්‍රදාය උපරිම තත්වයට පත්කළේ මොහුය.
භෞතික ලෝකයට තිබෙන්නේ වාස්තවික පැවැත්මක් නොව, මිනිස් සංජානන ක්‍රියාවලියේ ප්‍රතිඵළයක්ය, යන බර්ක්ලේගේ මතය ගරුකල හියුමි නම් දාර්ශනිකයා, මනසේ පැවැත්ම සම්බන්ධව නිරීක්ෂණය කළහැකි වන්නෙ සංජානනය තුළින් පමණක් බව පැවසීය. 17 වන ශතවර්ශයේ ආත්මය පිලිබද තවත් අදහස් ඉදිරිපත් කල දර්ශනිකයෙක් ලෙස බෙනඩික්ට් ස්පිනෝසා හැදින්විය හැකිය. එමෙන්ම මෙම අවධියේ ජීවත් වූ චාල්ස් ඩාවින්, හර්බට් ස්පෙන්සර්, ෆ්‍රැන්සිස් ගැල්ටන් වැනි ජීව විද්‍යාඥයෝ ඉදිරිපත් කල පරිණාමවාදී මතයන් හරහා නූතන මනෝවිද්‍යාවට විශාල මෙහෙවරක් ඉටුවිය.
නූතන සහ සමකාලීන යුගය
මෙම යුගයන් ආරම්භවන්නේ 1879 දී ජර්මනියේ ලිප්සිග් විශ්වවිද්‍යාලය, ලෝකයේ ප්‍රථම මනෝවිද්‍යා පර්යේෂණාගාරය ආරම්භ වීමෙනි. මෙය විද්‍යාත්මක මනෝවිද්‍යාවේ ආරම්භය ලෙස සලකනු ලැබේ. මේ අවධියේදී මනෝවිද්‍යාවේ වර්ධනයට බලපෑ ප්‍රධාන සිදුවීම් තුනකි.
මනෝවිද්‍යාව සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ ආරම්භ වීම.
මෙතෙක් අංශ දෙකක් ලෙස වර්ධනය වූ සෛධාන්තික අංශය හා මනෝ ප්‍රතිකාරක අංශයන් ඒකාබද්ධ වීම.
මනෝවිද්‍යා ගුරුකුල ආරම්භ වීම.
1879 දී ප්‍රථම මනෝවිද්‍යා පර්යේෂණාගාරය කේන්ද්‍ර කරගනිමින් විල්හෙල්ම් වුන්ඩ් විසින් ප්‍රථම මනෝවිද්‍යා ගුරුකුලය ලෙස චර්යාවාදී ගුරුකුලය ආරම්භ කලේය. මෙලෙස ආරම්භ වූ ගුරුකුල මනෝවිද්‍යාවේ වර්ධනයට විශාල මෙහෙයක් කරන ලදී.
මේ ආකාරයට නූතන මනෝවිද්‍යාව බිහිවීමට සහ වර්ධනයට විවිධ දාර්ශනික අදහස් ප්‍රබල බලපෑමක් සිදු කරන ලදි.
References
අතුකෝරළ දයා රෝහණ. (2000). අධ්‍යාපන මනෝවිද්‍යාව සහ ගුරුවරයා,ශික්ෂා මන්දිරය. එදිරිසිංහ දයා.(1987).මනෝවිද්‍යාවේ ගුරුකුල සහ මනෝවිද්‍යාඥයෝ, ආරිය ප්‍රකාශකයෝ. කලන්සූරිය ඒ.වී.පී. (1973). නූතන බටහිර දර්ශනය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. රසල් බර්ට්‍රන්ඩ්.(1970).බටහිර දර්ශන ඉතිහාසය, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව. විදානගමගේ කුලසේන. (1997).දාර්ශනික ගැටලු. ශ්‍රි ලංකා පුස්තකාල සේවා මණ්ඩලය.